තමා හඳුනාගැනීමෙන්
සමාජය යහපත් වෙනවා
පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි - ශ්‍රී සුමන පිරිවෙන්
විහාරාධිපති
රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක, මුද්දුව ශ්‍රී සුමන පිරිවෙන්
විහාරාධිපති පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමිපාණන් සමඟ වෙසක් මංගල්‍ය
නිමිතිකොට ගනිමින් සිදුකළ සාකච්ඡාවකි.
සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පොහෝ දිනය අර්ථාන්විතව සැමරීමේ ඇති
වැදගත්කම හා අවශ්‍යතාව ඔබ වහන්සේ පෙන්වා දෙන්නේ කෙසේ ද?
සිදුහත් කුමරාගේ උපත, බුද්ධත්වය
සහ පරිනිර්වාණය යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී බෞද්ධ
ජනතාවත්, ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවත් ඉහළින් ම සමරනවා. ඒ දවසේ වටිනාකම
තේරුම් ගනිමින් විශේෂ කාර්යයන් ද සිදු කරනවා. රුවන්මැලි මහ සෑයට මුල්ගල් තැබීම
සිදුකරල තියෙන්නෙත් වෙසක් පොහොය දිනයේ බව මහා වංශයේ සඳහන් වෙනවා. මේ වැදගත්කම
අදටත් එසේම යි. බෞද්ධ රටක් හැටියට ඒ සංස්කෘතිය අපි ප්‍රදර්ශනය කරනවා.
වෙසක් මංගල්‍ය ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී සැමරීම වඩා උතුම් බවයි
අවධාරණය කෙරෙන්නේ. ඒ අතරම වෙසක් සමඟ බැඳි සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට ආමිස
පූජාවනුත් පැවැත්වීම කොපමණ දුරට වැදගත් වනවා ද?
සාමාන්‍ය බෞද්ධයා නිවන පිළිබඳ වටහා ගන්නේ ශීල - සමාධි – ප්‍රඥා යනුවෙන්. වටිනාම
පූජාවත් ප්‍රතිපත්ති පූජාව යි. වෙසක් සමයේ දීත් ඊට මුල්තැන දිය යුතු බව
කියැවෙන්නේ ඒ නිසා. එක් වරම අපි මුහුදේ ගැඹුරුම තැනට බසින්නේ නෑ. නොගැඹුරු
තැනින් පටන් ගන්න ඕන. ආමිස පූජාවල යෙදීමත් ඒ වගේම යි. පෙරහැර, දන්සැල්, තොරණ,
ශීල ව්‍යාපාර, ලේ දන්දීම්, වෙහෙර විහාර ඉදිකිරීම් වැනි සියල්ල අයත් වන්නේ ආමිස
පූජාවට යි. බෞද්ධ සංස්කෘතිය රැකගෙන ඉදිරියට ගෙනයාමට ඒ පූජා හේතු වෙනවා. ඒ
නිසා ඒවායේ යෙදෙන අතර ප්‍රතිපත්ති පූජාවන් ට මුල්තැන දිය යුතුයි.
වාණිජකරණයේ බලපෑමට නතු වූ නූතන සංකීර්ණ සමාජ රටාව තුළ මෙවැනි පිංකම් වලට
ඇතිවී ඇති බලපෑම් අවම කර ගැනීම පිළිබඳ කාරණය ඔබ වහන්සේ අවධාරණය කරන්නේ කෙසේ
ද?
මෙහිදී ආගමික නායකයන්ට, දේශපාලන නායකයන් ට කාර්යභාරයක් තියෙනවා. මේ
කවුරුත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ජනමාධ්‍ය, වාණිජකරණය ආදී කාරණා නිසා
විශේෂයෙන් ආමිස පූජාවන් ට බලපෑම් ඇති වී ඇති අයුරු දකින්න පුළුවන්. වඩා
වැදගත් වෙන්නේ මේවායේ හරයට මුල්තැන දීම යි. ඒ නිසා තොරණ, දන්සැල්, රූකඩ සංදර්ශන
ආදිය සිදුකිරීමේ දී ගෞරවාන්විතව ඒවා කළ යුතුයි. මේ වනවිට මේවා සම්බන්ධයෙන්
බුද්ධ ශාසන අමාත්‍යාංශයත් ක්‍රියාත්මක වෙමින් තිබීම වැදගත්. එවැනි පූජා පමණක්
නොව සියුරු - පිරිකර ආදී පූජා භාණ්ඩ සම්බන්ධයෙනුත් ඔය අන්දමේ බලපෑම් ඇතිවී
තිබෙනවා.
බුදු දහම ලෝකෝත්තර ධර්ම මාර්ගයක් පමණක් ම නෙවෙයි. ලෞකික ජීවිතය සාර්ථක
කරගැනීමට ඉන් ලද හැකි ආලෝකය කෙබඳු ද?
ලෞකික ජීවිතයේ මිනිසාට ඇතිවන ප්‍රශ්නවලට විසඳුම් සපයා ගන්නේ කෙලෙස ද යන්න
බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කළා. ජීවන ගැටලු වලට විසඳුම් වගේම සතුටින් ජීවත්
වන්නේ කෙසේ ද යන්නත් මේවායින් පෙන්වා දෙනවා.
තමන් තමන්ව හඳුනාගැනීම වඩාත්
වැදගත්, සමාජය හැදෙන්නේ එවිටයි. තමන් ට වගේම අනුන්ටත් යහපතක් වන ලෙස,
කරදරයක් නොවන ලෙස අපි ජීවත්විය යුතුයි. දෙගොල්ලන්ගේ ම දියුණුව සැලසෙන්නේ
එවිට යි. ඉහළම තැනට යන්න කලින් අපි පටන් ගන්න ඕන ඉන්න තැන ඉඳන්. බුදුන්වහන්සේ
භික්‍ෂු සමාජයට පැනවූ තරම් විනය - ශික්‍ෂා ගිහි සමාජයට පනවා නෑ. නමුත් යහපත්
ජීවන මාර්ගයක් උදෙසා පැවැතිය යුතු ආකාරය පෙන්වා දුන්නා.
උදාහරණයක් හැටියට
ජීවත්වීම උදෙසා ධාර්මික වෙළෙඳාමේ වැදගත්කම දේශනා කළා. අධාර්මික වෙළඳාම් 5
කින් වැළැකිය යුතු බව පෙන්වා දුන්නා. තවත් උපයන ධනය වියපැහැදම් කළ යුතු ආකාරය
පවා දේශනා කළා. නූතන සමාජ සංකීර්ණත්වය, වාණිජකරණය, මාධ්‍ය බලපෑම ආදී කාරණා
නිසා යහපත් දිවි පෙවෙතකට එල්ල වී ඇති බලපෑම් තේරුම්ගනිමින් බුදු දහමේ
ඉගැන්වෙන ආකාරයට අප අපේ ජීවිත හැඩගස්වා ගත යුතුයි. ම්ච්ඡා ජීවය නොව සම්මා ජීවය
ට එනම් යහපත් දිවිපෙවෙතකට නැඹුරු විය යුතුයි.
වැරැදි ආදර්ශ ඈත් කර සත්පුරුෂ සමාජයක් බිහි කිරීමට බුදුදහමින් ලද හැකි ආලෝකය
ඉතා විශාල යි.
අනාගත සමාජය හැඩගැස්මේ දී මව්පිය – ගුරුවර ආදීන් ට ඇති වගකීම ඔබවහන්සේ
පෙන්වා දෙන්නේ කොහොම ද?
විශාල වගකීමක් තියෙනවා. දරුවන් යහ මඟට යොමු කිරීමට කල්‍යාණ මිත්‍ර
සම්පත්තියත් ඉතාම අවශ්‍යය යි. වරක් ආනන්ද හාමුදුරුවො මේ වැදගත්කම ගැන බුදුන්
වහන්සේ ගෙන් විමසා සිටියේ එය 50% ක් වත් බලපානවා ද කියල දැන ගැනීමට යි. එහිදී
බුදුන් වහන්සේ දේශනා කළේ 50% ක් නොව 100% ක්ම එය ජීවිතයට බලපාන බව යි. මවුපිය –
ගුරුවර – වැඩිහිටි ආදී කවුරුත් දරුවන් යහ මඟට යොමු කිරීමට නම් මේ කාරණා කොපමණ
වැදගත් ද යන්න තේරුම්ගත යුතුයි.
මාධ්‍ය විසින් හෝ ඇතැම් දේශකයන් වහන්සේ වෙතින් ධර්මය විකෘති කරමින් තිබීම,
රහත් භාවය පිළිබඳ පළවෙමින් ඇති විවිධ අදහස් වැනි දෑ පිළිබඳ තේරුම් කරන්නේ කෙසේ
ද?
අද තියෙන්නේ අති ධාවනකාරී සමාජයක් පටු පරමාර්ථ ඔස්සේ මුදල්, කීර්තිය, තනතුරු
ආදිය හඹා යමින් බෞද්ධ දර්ශනයේ සැබෑ හරය විකෘති කිරීමට ගන්නා ප්‍රයත්නයන්
දකින්නට තිබෙනවා. බුදුරුව පවා වෙළෙඳ භාණ්ඩයක් ලෙස යොදාගෙන තියෙනවා. ධර්ම
දේශනාවලදී පවා එම පූජනීයත්වය රැකගත යුතු වුණත් මාධ්‍ය ජනප්‍රියත්වය පසුපස
යාම නිසා ඒ තත්ත්වය වෙනස් වෙලා. බුදුදහමේ හරයට අනුව අපි මේ කාරණා දෙස බැලිය
යුතුයි.
සෝවාන් වීමට කෙනෙකුට බැරිකමක් නැතත් හරි අවබෝධයෙන් තොරව එය හෑල්ලුවට
ලක්වන අන්දමින් ක්‍රියාකරන අවස්ථා තිබෙනවා. පොදු සමාජය ට නිවැරදිව මේවා
සන්නිවේදනය නොකිරීම භයානකයි. වටාපත පවා අද වෙළෙඳ භාණ්ඩයක් කරගෙන.
මෝස්තරකාරී විදිහට පාවිච්චි වෙනවා. බෝපත්, ධර්ම චක්‍රය පවා එහෙමයි. වටාපත හරිම
චාම් ඒත් අද ඒ චාම් බව විරලයි. සිවුරු පිළියෙල කර ගන්නා ආකාරය පවා
බුදුන්වහන්සේ දේශනා කළා.
එම අරුත ගැඹුරුයි. නමුත්, වාණිජකරණය විසින් අද මේ
බොහොමයක් දේට බලපෑම් ඇති වෙලා. බුදුරුව පවා නොයෙක් විදිහට නිරූපණය කරනවා.
බුදුන්වහන්සේගේ වීතරාගී බව, අකම්පිත බව ආදී ගුණාංග ඉන් පිළිබිඹු නොවනවා නම්
සිදුවන්නේ අගෞරවයක්.
කොසොල් රජතුමා දුටු සිහින 16 න් එකක් තමයි සඳුන් දැව දරට ගන්නවා දැකීම. සඳුන් දරට
ගන්නේ නෑ. එය වටිනා දැවයක්. මේ ගැන විමසූවිට බුදුන්වහන්සේ දුන් පිළිතුර මේ
දේවල් දකිද්දි අපට සිහි වෙනවා. ධර්මය එහි අරුත, හරය පිළිබඳ කිසිම අවබෝධයකින්,
අගයකින් තොරව භාවිත කෙරෙනවා.
රහත් භාවය ගැන කියනවා නම්, අපි පළමුව කළ යුත්තේ ඉහළම තලය ඇල්ලීම නෙවෙයි. එහෙම
කරන්න යන එක භයානකයි. පහළම තලයේ සිටයි ක්‍රමයෙන් ඉහළ තලයට ළඟාවිය යුත්තේ.
මාර්ග ඵල ලබා ගනිමින් අර්හත් භාවය කරා ළඟාවීම පිළිබඳ බුද්ධ දේශනාවේ පැහැදිලිව
සඳහන්. සෝවාන් ආදී මාර්ගඵල දියුණු කරමින් ක්‍රමයෙන් එය ලඟා කර ගත යුතුයි.
පන්සිල්, අටසිල්, දසසිල් ආදී වශයෙන් මූලික ගුණාංග පුගුණ කළ යුතුයි. දන්දීම් ආදී
පිංකම් කළ යුතුයි. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව ප්‍රගුණ කළ යුතුයි.
අපට පන්සිල්වත් රකින්න බැරිනම්, පවුලේ අයත් එක්කවත් එකට ඉන්න බැරිනම් ඉහළම
තලයට ලංවෙන්නේ කොහොම ද?
රහත් භාවය ලද පමණින් මං රහත් වුණා යැයි කිසි ලෙසකවත් ප්‍රකාශ කරන්නේ නෑ. එය තමයි
රහතන් වහන්සේගේ ස්වභාවය, බක්කුල හාමුදුරුවන්ගේ කතාව අපිට සිහිපත් කරගත
හැකියි. මේ පුංචි හාමුදුරුවෝ රහත් භාවය ලබා තිබුණත් කවුරුත් එහෙම හිතුවේ නෑ.
විහිළු තහළු පවා කළා.
හැබැයි, මං රහත් වෙලා, මට ඔහොම කරන්න එපා කියල උන්වහන්සේ
කියන්න ගියේ නෑ. රහත් භාවය ලබන්න බැරි දෙයක් කියල මං කියන්නෙ නෑ. නමුත්, එය කරා
ළඟාවීමට මාර්ගයක් තියෙනවා. ඒ, මේ වැරැදි ලෙස පෙන්වා දෙන මාර්ග නෙවෙයි. බුදුන්
වහන්සේ දේශනා කළ මාර්ගය යි. සිහි නුවණින් යුතුව අපි මේ කාරණා තේරුම් ගත යුතුයි.
අතිශයින් සංකීර්ණ, වාණිජකරණය, විද්‍යාත්මක – තාක්‍ෂණික දියුණුව ආදී
කාරණා නිසා බලපෑමට ලක්වූ නූතන සමාජය ට බුදු දහමින් දිය හැකි පණිවිඩය කෙබඳු ද?
සරල චාම් ජීවිතයක් ගැනයි බුදුන්වහන්සේ දේශනා කළේ. සැබෑ බෞද්ධයාගේ දිවිපෙවෙත
සරලයි. එසේම නිරන්තරයෙන් සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවයි දැක්වෙන්නේ. මේ
මඟ පෙන්වීම් අද සමාජයට අතිශයින් ම අවශ්‍යය යි, අදාළයි.
වාණිජ රැල්ල විසින් අපේ දූ – දරුවන්ගේ ජීවිත පමණක් නොව සොබා දහම පවා විනාශ
කරමින් තියෙන්නෙ. ලෝභ, ද්වේශ, මෝහ ආදියෙන් අපි බැහැරවිය යුතුයි. එවැනි දෑ
දියුණුවට බාධා ලෙස දැකිය යුතුයි. අපේ ගරුතර මඩිහේ නායක හාමුදුරුවන් නිතර
කිව්වෙ “මිනිසා හදා රට හදමු” කියල යි.
මේක ඉතාමත් වැදගත්. මිනිසා පළමුව හදන්නෙ
නැතිව රට හදන්න අමාරුයි. පසුකාලීනව බිහිවූ චින්තකයන් පෙන්වා දුන්නා යුද්ධ පවා
පළමුව ඇතිවන්නේ මනසේ කියලා. බුදුන් වහන්සේ මනෝ පුබ්බංග මා ධම්මා... යන ගාථාව
දේශනා කළේ ඊට බොහෝ කලින්. සියල්ලට මුල් වන්නේ මනසයි. මේ කාරණා ගැන සිහි නුවණින්
විමසා බලා ක්‍රියාකිරීම මේ සංකීර්ණ සමාජයට ඉතාමත් අවශ්‍යය යි.
.ස්වයං විනයක් තිබිය යුතුයි
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ අන්‍යයන්ට කරදරයක් නොවන ලෙසින්
ජීවත්වීම උතුම් බවයි. පංචශීල ප්‍රතිපදාව ආරක්‍ෂා කිරීම තුළින් එසේ
අනුන්ට කරදරයක් පීඩාවක් නොවන ලෙසින් ජීවත් වන්නට පුළුවන්. එහෙත් සමාජයේ
සිදුවන ව්‍යසනකාරී තත්ත්වය දෙස බැලීමේ දී පෙනී යන්නේ අනුන්ට කරදරයක්
නොවන ලෙසින් ජීවත් වනවා නොව පළමු ශික්‍ෂා පදය කඩමින් ප්‍රාණඝාත අකුසලය
සිදු කරනු ලබන බවයි.
මව පියා ඝාතනය කර ආනන්තරීය පාපකර්ම කර ගැනීමට තරම් සමාජය පිරිහිලා. මීට
ප්‍රධානම හේතුව අප ගුණ දහමින් ඈත්වීමයි.
බුදුරජාණන් වහන්සේ අපට දිවි ගෙවීමට සුදුසු පරිසරයේ සිට ජීවිතයකට අවශ්‍ය
සියලු දේ දහමින් ලබා දුන්නා. මහා මංගල සූත්‍රයේ ‘පතිරූප දේසවාසෝච’
යනුවෙන් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම උතුම් මංගල කරුණක් බව උන්වහන්සේ
දේශනා කර වදාළා.
ගාරවෝ ච නිවාතෝ ච
සන්තුට්ඨි ච කතඤ්ඤතා
කාලේන ධම්ම සවණං
ඒතං මංගල මුත්තමං
ගරු කළ යුත්තන්ට ගරු කිරීම යටහත් පහත් බව, ලද දෙයින් සතුටුවීම, කළගුණ
සැළකීම, උතුම් මංගල කරුණු බව මෙහි දක්වා තිබෙනවා. අප සමාජයේ ගරු කළ
යුත්තන්ට ගරු කෙරෙන්නේ නැහැ. ඒ උතුම් ගුණය ක්‍රමයෙන් ගිලිහිලා. යටහත්
පහත් බවක් නැහැ. ලද දෙයින් සතුටුවන්නේ නැහැ. කළගුණ දන්නා අය ඇත්නම් ඒ
අල්ප පිරිසක්.
පංචශීලය ආරක්‍ෂා කරන්න තබා පන්සලකට යන්නවත් අපේ සමාජයේ ඇතැම් අයට
හැඟීමක් නැහැ.
මවට පියාට දරුවන්ට ගුණධර්ම කියා දෙන්න වෙලාවක් නැහැ. දරුවන්
අධ්‍යාපනයටයි පරිගණකයටයි කොටුවෙලා. සමාජයට යන්නේ ගුණ දහම් අදුනන දරුවන්
නෙමෙයි. තමන්ගේ අනාගතය ගැන විතරක් හිතන පතන දරු දැරියන් පිරිසක්
මව්පියන් දරුවන්ට උගන්වන්නේ ලොකු ගෙයක් හදාගන්න, උසස් රැකියාවක් කරන්න,
අනිත් ලොකු අයට වඩා සමාජයේ කැපී පෙනෙන්න, හොඳ මෝටර් රථයක් ගන්න.
මව්පියන් පෙන්වන මේ පාරේ දරුවන් යනවා. ගුණදහම් අගයන්න ගුණ දහම්
උගන්වන්න දරුවන් යොමු කර නැහැ. එවන් තත්ත්වයක් යටතේ දරුවන්ට ගුණ දහම්
පිළිබඳ හැඟීමක් නැහැ. ඔවුන්ගේ එකම අපේක්‍ෂාව මුදල් හම්බ කිරීම බවට පත්
වෙනවා. මව්පියන් ගමේ පන්සලට ලබාදෙන මුර දානය පවා ඔවුනට අමතක වනවා.
පන්සිල් පවා නොදන්න සමාජයක් බිහිවෙමින් පවතින්නේ. අප සමාජයේ සියලු
දෙනාම පංචශීලය පිළිබඳ හොඳ හැඟීමක් ලබා දුන්නා නම් සමාජයේ අපරාධ
සිදුවන්නේ නැහැ.
ඕනෑම දෙයක් මුදලට කළ හැකියැයි සිතන සමාජයක් බිහිවෙමින් පවතින්නේ. මෙය
එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. සිඟාලෝවාද සූත්‍රයේ අපෙන් සමාජයට ඉටුවිය
යුතු යුතුකම් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ යුතුකම් වගකීම් නිවැරැදිව
ඉටුවනවාද?
තමන්ගේ අයිතිවාසිකම් ගැන පමණක් හඬ නඟන පිරිසක් බිහිවෙලා තමන්ගේ
යුතුකම්, වගකීම් නිසි අයුරින් ඉටුකරනවා නම් තමන්ගේ අයිතිවාසිකම්
නිරන්තරයෙන්ම ඉටුවනවා. අප ඒ ගැන මැනවින් සිතා බැලිය යුතු වනවා. අද
සමාජය ගොඩගන්න අපහසු තත්ත්වයකට පත්වෙලා. ඒ තත්ත්වයට වත්මන් තරුණ පරපුර
ගෙනයාමේ වරද දෝෂය සමස්ත සමාජයම බාර ගත යුතු වනවා.
අප සෑම දෙනාම තරගයට දුවන්නන් වාලේ විභාග ඉලක්ක කර දූ දරුවන්ට
ඉගැන්වීමත්, ඔවුන්ගේ පෞරුෂ වර්ධනයත් සොයා බැලුවා හැරෙන්නට ඔවුන්ට
මානුෂීය ගුණ දහම් ලබාදෙන්නේ නැහැ. 8, 9 ශ්‍රේණිවලට පැමිණීමෙන් පසු දහම්
පාසල් යන දූ දරුවන්ගේ සංඛ්‍යාව ඉතාම අඩු මට්ටමකට පත්වෙලා. දහම් පාසල්
අධ්‍යාපනයට දරුවන් යොමු කරගන්න බැරි තරමට මව්පියන් ගුණ දහම් නොදැනීමත්
විභාග තරගත් ඉස්මතු වෙලා. අනුන් පරයා යාමටත් අනෙකාට දෙවෙනි නොවීමට ඇති
අකමැත්තත් මානය නිසා හිස උදුම්මාගන්නා තත්ත්වයත් මේ සියල්ලටම හේතු
වෙලා. අතීතයෙන් අත්දැකීම් ලබාගෙන වර්තමානය සකසාගෙන එමඟින් යහපත්
අනාගතයක් ගොඩ නඟා ගැනීමට අපට හැකියාවක් නැහැ.
තරුණකම, ධනය, ජනතාව නොමඟට යොමු කරන සාධක බවට පත්වෙලා. තරුණයන් පිරිසක්
එකතුවුණාම ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ අය යහපතෙහි යෙදවීමට නිසි
මාර්ගයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දූත පිරිස ලෙස පිටත් කර
හැරියේ තමන්ගේ වස්ත්‍ර සොයා ගිය භද්දවග්ගිය කුමාරවරුන් පිරිසයි.
තරුණ පිරිසට නිසි මඟ පෙන්වා දීමට ක්‍රමවේදයක් සමාජයේ ඇති කළ යුතු
වෙනවා. මාධ්‍ය මගින් පවා අප මේ ගැන කතා කරන්න කැමැති නැහැ.
සියලු සමාජ සංවිධානයන්ගේ මෙහෙයවීමෙන් ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදාව,
පොලීසිය, වෛද්‍යවරු වැනි විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් අපරාධ
මැඩ පැවැත්වීමට කථිකාවතක් කළ යුතු වනවා. එසේ නොවුණහොත් අපට විවිධ බාධක
කරදර එල්ල විය හැකිය. ළමා අපරාධ මර්දනයටත් මෙවන් පියවරක් ගත යුතුමයි.
එසේ නොවුණහොත් අන්තර්ජාතික බලවේග අපේ අඩු ලුහුඬුකම් හොවා දක්වා මානව
හිමිකම් ප්‍රශ්න පවා ඉස්මතු කර දැක්වීමට පුළුවන්. එමෙන්ම චීවරයට මුවාවී
සිදු කරනු ලබන අපරාධ නැවැත්වීමට භික්‍ෂූන් වහන්සේ කටයුතු කළ යුතු වනවා.
ඒ සඳහා නිකාය මූලස්ථාන අදාළ ක්‍රමවේදයන් ගත යුතු වනවා විශේෂයෙන්ම ගිහි
පැවිදි සියලු පිරිසට හිරි ඔතප් ඇති කළ යුතු වනවා.
ලැජ්ජාව බිය බොහෝ දෙනාගේ සිතින් පහව ගිහින්. සිසුවා තමන්ගෙන් ලබන
අධ්‍යාපනය අඩු නිසා ටියුෂන් යෑම ගැන ගුරුවරුන් ලැජ්ජා විය යුතුයි.
එහෙත් ගුරුවරයාත් පාසල් කාලයෙත් ටියුෂන් කරනවා. ඒ විදිහට සිඟාලෝවාද
සූත්‍රයේ දැක්වෙන ගුරු සිසු සබඳතා රැකෙනවාද?
ස්වයං විනයක් අප සැමට තිබිය යුතුයි. ඒ සඳහා කුඩා කල සිටම සමාජය හුරු කළ
යුතුයි. අප දැනටමත් ප්‍රමාද වැඩි වුවත් අපට තවම ඉඩ ප්‍රස්ථාව තිබෙනවා.
කථිකාවතක් මඟින් නීතියට මුල් තැන ලබාදීම. දූ දරුවන්ට යහගුණ කියාදීම
මඟින් සමාජය නිසි මඟට ගැනීමට පුළුවන්. ඒ සඳහා හෙට නොව අදම කටයුතු කළ
යුතු වනවා.
නිවහල් මනසකින් යුතුව
බුද්ධිමත්ව හා තුලනාත්මකව විමර්ශනය කළ යුතු නිදහස
‘නිදහස” යන වචනයට නොයෙක් දාර්ශනිකයෝ සහ විවිධ උගත්තු විචිත්‍ර වූ අර්ථකථන ඉදිරිපත්
කරති. ඒ ඒ වියතුන්ගේ දෘෂ්ටිකෝණ අනුව ඔවුන් විසින් “නිදහස” යන වචනයට ඉදිරිපත් කරන ලද
අර්ථකථනත් විචිත්‍රය. මෙහිදී අප “නිදහස” යන වචනයේ අර්ථය දකින්නේ ඒ ශාස්ත්‍රීය
විග්‍රහ අනුව නොවේ.
එතැන් සිට අද
දක්වා ඩී. ඇස්. සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ සිට වර්තමානය දක්වා ම සියලු පාලකයන්
විසින් පෙබරවාරි මස 04 වන දින “නිදහස් සමරු උත්සව“ පවත්වනු ලැබේ.
එහිදී රාජ්‍ය බලය
හා ශක්තිය සම්ප්‍රදායට අනුකූලව ප්‍රදර්ශනය කෙරේ. එම නිදහස් උත්සව හෝ ප්‍රාදේශීය
වශයෙන් පැවැත්වෙන නිදහස් උත්සව දකින ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයකුට හෝ
මෙරට සමහර ලාංකිකයන්ට මෙවැනි සිතිවිල්ලක් ඇති විය හැකිය.
“මේ රට, එංගලන්ත පාලන ක්‍රමය ම ක්‍රියාත්මක කරන බටහිර සම්ප්‍රදායවලට ම අනුව සකස් වූ
සංස්කෘතියක් ඇති දේශයක් බවයි. තවද චීනය, ඉන්දියාව වැනි දීර්ඝ ඉතිහාස ඇති
සංස්කෘතිවලට කිසිම සම්බන්ධකමක් නැති ස්වාධීන වූ අනන්‍යතා ප්‍රදර්ශනය කෙරෙන
සංස්කෘතික ලක්‍ෂණ නැති රටක්” බවත්ය.
ඒ විදේශිකයාගේ සිතිවිල්ල බොහෝ සෙයින් සාධාරණ
යැයි මධ්‍යස්ථ මතධාරීන්ට බොහෝ සෙයින් පිළිගන්නට සිදුවන්නේ “අපේ රටේ නිදහස් දින
උත්සව“ නැරඹීමෙන් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන “නීති පද්ධතිය, අධ්‍යාපන
මූලධර්ම, දේශපාලන න්‍යාය මෙන් ම වියතුන්ගේ සම්භාවනාවට ලක්වී ඇති උසස් යැයි සම්මත
බොහෝ දෙනා අනුගමනය කරන සාරධර්මවලට ආරෝපිත ගෞරවනීයත්ව“ ආදිය සැළකිල්ලට ගැනීමෙන් ය.
යහපත් ප්‍රතිඵල
මෙරට සමහර නීතිරීති ක්‍රියාත්මක කිරීමෙන් ජනතාවට ලැබෙන යහපත් ප්‍රතිඵලවලට වඩා
අයහපත් ප්‍රතිඵලවලට වගකිවයුත්තෝ නොමැත. උදාහරණයක් වශයෙන් බටහිර නීති සම්ප්‍රදාය ඒ
ලෙසින්ම ක්‍රියාත්මක කිරීම නිසා සාමාන්‍ය ජනතාවට සිදුවෙන විනාශය සංකේතවත් කෙරෙන
කථාවක් වශයෙන් ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගමෙහි ජීවත් වූ සිළිදු හා ඔහුගේ පවුලේ
කථාන්තරය දැක්විය හැකිය.
එහිදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන නඩුකාරයාටත්
සිළිදුගේ චරිතයේ ඇති අහිංසක ස්වභාවය තේරුම් ගියත් සාම්ප්‍රදායික නීති රාමුව තුළ
සිළිදුට සමාවක් ලබා දීමට අවස්ථාවක් නොලැබේ. එයින් ප්‍රකාශ කෙරෙන්නේ නීතිය
ක්‍රියාත්මක කළ යුත්තේ “වැරැදි කරන මිනිසුන් නිවැරැදි මඟට ගන්නට වඩා නීතිය සඳහා
පැවතිය යුතුය” යන්නයි. නමුත් පෙරදිග දර්ශන සම්ප්‍රදායට අනුව තර්කයෙන් පමණක් සත්‍යයට
ළඟා විය නොහැකිය.
සමහර අවස්ථාවලදී තර්කයෙන් සත්‍යාභාසයන් (සත්‍ය යැයි පෙනෙන
අසත්‍යය) ද ජයග්‍රහණය කෙරේ. ඒ නිසා බෞද්ධ දර්ශනයේ “මා තක්කහෙතු” යන්න ද සත්‍යය
කුමක් විය හැකිදැයි පරීක්‍ෂා කරන සත්‍ය ගවේෂකයා දැනගෙන සිටිය යුතුය. එනිසා ලංකාවේ
ක්‍රියාත්මක කෙරෙන නීති ක්ෂේත්‍රයට පෙරදිග දර්ශන සම්ප්‍රදායවලින් ද උගත හැකි බොහෝ
දේ ඇත. එහෙත් මේ වනතෙක් අපේ රටේ ක්‍රියාත්මක කෙරෙන නීති ක්ෂේත්‍රයේ හෝ ඒ සඳහා
උපදෙස් දෙන වියතුන්ගේ අවධානය යොමු වූ බවක් නොපෙනේ.
බහුවිධ සම්පත්
තවද අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේද විවිධ රටවල වියතුන්ගේ න්‍යාය ධර්ම පදනම් කරගත්
මූලධර්ම ක්‍රියාත්මක කෙරේ. ඒවායේ බොහෝ සාර දේ ඇත. එහෙත් සමහර අධ්‍යාපනඥයන් විසින්
නිර්දේශ කෙරෙන න්‍යාය ධර්ම, ලංකාව වැනි බහුවිධ සම්පත් ඇති තර්කානුකූල චින්තනයකට
හුරු වූ සංස්කෘතියක් අනුගමනය කෙරෙන බුද්ධිමත් ජනතාවකට නොගැළපෙන බව ක්‍රියාවෙන් ම
දැන් ඔප්පු වී ඇත.
එනිසා වර්තමාන අධ්‍යාපනඥයන්ගේ අවධානය යොමු විය යුත්තේ පෙරදිග හෝ
අපරදිග වේවා වඩාත් ඵලදායි වන ලෙසින් අනාගත ලෝකයට ගැළපෙන ලෙසින් ශිෂ්‍ය ප්‍රජාව
මෙහෙයවිය හැකි අධ්‍යාපනික ක්‍රියාදාමයකි.
අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කළ ආකාරයට “කළු සුද්දන්” සේ අප සිතීමට පුරුදු වීම හා
වහල් මානසිකත්වයක් ඇති වීම, පුද්ගල සංවර්ධනයට මෙන් ම සමාජ අභිවෘද්ධියටත් බාධාවක්
වේ. එනිසා අපේ රටේ “නිදහස” පිළිබඳව නිවහල් මනසකින් යුතු ව සහජ කුසලතාවලට
ප්‍රමුඛත්වයක් දෙමින් බුද්ධිමත්ව හා තුලනාත්මකව විමර්ශනය කළ යුතුය.
දේශීය සම්පත්
එසේ වුවහොත් ලෝකයේ ප්‍රබල රාජ්‍යවලට වඩා බුද්ධිමය
බලයෙන් හා සියලු සතුන්ට හා ස්වභාවධර්මයට අනුයෝගිතාවයෙන් වඩාත් ආදර්ශමත් රාජ්‍යය
වීමට අපට හැකියාව ඇත. ඒ සඳහා වඩාත් ම අත්‍යවශ්‍ය සාධකය වන දේශපාලන ස්ථාවර භාවය
වර්තමාන රජයට ලැබී ඇත. එය සුබදායී අනාගතයකට පෙර නිමිත්තකි.
එනිසා වඩාත් ඵලදායි හා
තිරසාර සංවර්ධනයක් සඳහා සැලසුම් සකස් කිරීමේ දී අනාගත දැක්මෙන් යුතුව ඉදිරිපත්
කෙරෙන ආර්ථික සංවර්ධන සැලැසුම් ආදියත් ස්වාර්ථ හා පරාර්ථ අභිවෘද්ධියට හේතු වන
අධ්‍යාත්මික ක්‍රියාදාමයනුත් අනාගත ලෝකයා ගමන් කරන දිශානතියටත් අනුකූල විය යුතුය.
එවැනි තිරසාර සංවර්ධන වැඩපිළිවෙළකට ජනතාවගේ සහයෝගය හා සහභාගිත්වය නිරායාසයෙන් ම
ලැබෙනු ඇත.
එයට හොඳම උදාහරණයක් වශයෙන් “පසුගිය දශක කීපයක් තුළ දී ත්‍රස්තවාදීන්
විසින් මේ රටේ කරන ලද ම්ලේච්ඡ ක්‍රියාවලට විරුද්ධව රජය විසින් මෙහෙය වූ “මානුෂික
මෙහෙයුමට” ජනතාවගේ ලැබුණු සහයෝගය දැක්විය හැකිය.
එහි දී ජනතාව ජාති, ආගම්, පක්‍ෂ
භේදවලින් තොරව උපකාර කළේ එම “මානසික මෙහෙයුමේ” පැවති බුද්ධිමත්භාවයත්, උපාය
කෞෂල්‍යයත් සාර්ථක වූ ජයග්‍රාහී මානසිකත්වයත් නිසයි. එහි උච්චතම අවස්ථාව ලෙස
“ප්‍රභාකරන්ගේ විනාශයෙන් පසුව ජනතාව මහ මඟට බැස පී‍්‍රති ඝෝෂා කරමින් සන්තෝෂ වූ
ආකාර” දැක්විය හැකිය.
ජනතා සහභාගිත්වය
එවැනි ජනතා සහභාගිත්වයක් හෝ මානසිකත්වයක් අපේ රටේ පැවැත්වෙන නිදහස් උත්සවයට නැත.
එයට විවිධ වූ හේතු ඇත. නමුත් මේ රටේ ජීවත්වෙන විවිධ ආගම් අදහන ජනවර්ගවලට අයත් ජනතාව
විසින් පැවැත්වෙන සංස්කෘතික උත්සවවලට ඇති ජන සහභාගිත්වයවත් නිදහස් උත්සවවලට ලැබේද
යනු සැක සහිතය. ඒ නිසා “නිදහස් උත්සවය” තව ම අපේ ජනතාවගේ උත්සවයක් වී ඇතැයි නොසිතේ.
එහෙත් නිදහස් උත්සවය මූලික කරගෙන ශ්‍රී ලංකාවේ ජාතික, සංස්කෘතික අවශ්‍යතා
ප්‍රදර්ශනය කෙරෙමින් සමස්ත ජනතාවගේ අනාගත අභිවෘද්ධිය තේමා කර ගත් සංදර්ශනයක් රජයෙන්
සංවිධානය කෙරෙන්නේ නම් “නිදහස් උත්සවය ජනතා උත්සවයක්” වනු ඇත.
එය රටේ ජනතාවට ජාති,
ආගම් භේදවලින් තොරව සත්‍ය වූ හා විශ්වාසනීය වූ කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම්
අන්තර්ගත ප්‍රදර්ශන, සංවාද, නිදහස් විවේචනවලට අවස්ථා තිබිය යුතුය. එසේ ම නිදහස්
සැමරුමට නගරය මෙන්ම ගමත් පාලකයන් මෙන්ම පාලිතයනුත්, වියතුන් මෙන් ම නොවියතුනුත්
සහභාගි විය යුතුය.
මෙසේ මුළු රටම නිදහස් සංවර්ධන මානසිකත්වයකින් යුතුව වාර්ෂිකව
පුනරාලෝකනය කෙරෙමින් ඉදිරියට යාමට පෙළගැසුණොත් සංවර්ධන කටයුතුවලට විශාල ශක්තියක්
වනු ඇත. මේ සංකල්පය අන්තර්ගත විචිත්‍ර වූ වැඩසටහන් විවිධ වූ විෂයානුබද්ධ ව
වර්තමානයේ ක්‍රියාත්මක වේ. දැයට කිරුළ, මඟ නැඟුම, දිවි නැඟුම ආදිය උදාහරණය.
මේ
සියලු සංවර්ධන ක්‍රියාදාමයන් වර්ෂයක් පුරා ක්‍රියාත්මක කර ඒවායේ පලාඵල මෙන් ම
නවීකරණයන් නිදහස් දිනට සමාලෝචනය විය යුතුය. එය ඉදිරි වසරේ පෙර දැක්මට නියාමකය වනු
ඇත.
මෙවැනි ජාතික වැඩපිළිවෙළක් සමස්ත පාලක පාලිත දෙපක්‍ෂයම සාමුහිකව ක්‍රියාත්මක කළහොත්
වර්ෂය පුරා විවිධ වූ උත්සව හා සංදර්ශනවලට වැය වෙන විශාල ධනස්කන්ධයක් හා මානව සම්පත්
වසරින් වසර ජාතික සංවර්ධන සංදර්ශනයට ම එක්වනු ඇත.
එහි ඵල තමාට ලැබෙන විට ජනතාව
“නිදහස් සමරුව“ වසරින් වසර තම කුසලතා අගයන ප්‍රදර්ශනයක් සේ පෙබරවාරි 04 වන දිනය
සැමරීමට ඉදිරිපත් වෙනු ඇත. පක්‍ෂ, පාට හෝ ජාති ආගම් හෝ උතුර දකුණ හෝ උගත් නූගත්
වැනි භේද සංවර්ධනය කරා යන ජනතාවකට බාධක නොවන බව බොහෝ දෙනාට අවබෝධ වී සියල්ලෝම
සංවර්ධන ඉදිරි දැක්මේ පෙරහරට එක්වනු ඇත.
ජන ශක්තියක්
වර්තමාන රජයට හා ජනාධිපතිතුමාට විශේෂ අවස්ථාවක් හා ජන ශක්තියක් ලැබී ඇත. මෙහිදී රටේ
අනාගත අභිවෘද්ධිය පිළිබඳව අවංක ව අපේක්‍ෂා කරන සියලු දෙනා ම මේ අනගි අවස්ථාවේදී
ප්‍රයෝජන ගැනීමට එක්වී ක්‍රියා කළ යුතුය.
එහිදී පුද්ගල බද්ධ විවිධත්වයන් හා
මතිමතාන්තරත්, පක්‍ෂ, ජාති වැනි පටු විවිධත්වයන් ද සැලකීමට නොගත යුතුය. විශේෂයෙන්
යුද්ධයෙන් පසුව ඇතිවිය හැකි මතභේද ඕනෑම රටක සිදුවිය හැකි ලක්‍ෂණයකි.
එයට අපි
බුද්ධිමත්ව හා මධ්‍යස්ථව රට හා ජනතාව ගැන පමණක් සලකා නිදහස් දේශයක් හා ජනතාවක්
පිළිබඳව පමණක් සිතා නව සංවර්ධන ක්‍රියාදාමයකට යාමට අපි සියල්ලෝම එක්වෙමු. එවිට
ඉදිරි වසරවලදී ක්‍රමයෙන් දියුණුව කරා ගමන් කරන ජනතාවක් වශයෙන් එකට එක්වී “නිදහස්
දින උත්සවය” සැමරිය හැකි වනු ඇත.
සීන දහසයක්
ගවා ච අස්සො කංසො
සිගාලීච කුම්ගො පොක්ඛරණි ච
අපාක චන්දනං
ලාපුනිසීදන්ති සිලාප්ලවන්ති
මණ්ඩුකියො කණ්ණ සප්පෙ ගිලන්ති
කාකා සුවණ්ණා පරිචාරයන්හි
තසාවකා ඵලකානං භයාති”
ගාථාවල සඳහන් වන්නේ “කොසොල් රජතුමා” දැක්ක සීන දහසය. එක දවසක් කොසොල් රජතුමා සිහින
දහසයක් දැකල නිදිවර්ජිතව රාත්‍රි එළිවෙනතුරු බියෙන් සිටියා. උදේ ම රජ මාළිගාවට
පැමිණි පුරෝහිත බ්‍රාහ්මණයාට සිහින විස්තර කිව්වා.
එය ඇසූ බමුණා “රජතුමනි, මේ සීන, රාජ්‍ය හෝ රාජ සම්පත්තියට හෝ ඔබතුමාගේ ජීවිතයට හෝ
අනතුරුදායක පෙර නිමිත්තක්. එනිසා මේකට “සර්ව චතුෂ්ක යාගය කරන්න ඕනි” කියල කිව්ව.
“ආචාරීණි, එසේ කරව“ කියල රජතුමා කී කල්හි බමුණෝ යාගයට අවශ්‍ය කටයුතු සංවිධානය කළා.
සර්ව චතුෂ්ක යාගයට අවශ්‍ය සියලු වස්තු, සත්තු හතර බැගින් ගන්නවා. රජමාළිගාව අවට
සිවුපා සතුන්, කුරුල්ලන් නොයෙක් වර්ගවල සතුන් හතරදෙනා බැගින් ගෙනවිත් විශාල ඝෝෂාවක්
ඇතිවුණා.
මේ සතුන්ගේ ඝෝෂාව ඇසුණ මල්ලිකා දේවිය “රජතුමනි, රජගෙදර ඇති උත්සවය කුමක්දැ
යි” ඇසුවා. එවිට රජතුමා “දේවිය, අපට ඇති වී තිබෙන ත්‍රිවිධ බිය දන්නේ නැද්ද? අපේ
කම්මුල ඇවිදිනා සර්පයන් නොපෙනේ ද?” යැයි ඇසුවා. “ස්වාමීනි, ඔබතුමා මේ අන්තරායන් ගැන
බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවේ නැද්ද? “නැත, දේවිය,” “එසේ නම් ජේතවනාරාමයට ගොස් සීන
විස්තර බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න.” කොසොල් රජතුමා ද විහාරයට ගිහිල්ල තමා දුටු
සීන බුදුරජාණන් වහන්සේට මතක් කළා.
“ස්වාමීනි, මම රාති‍්‍රයේ දැක්කා නපුරු දර්ශනයක්. කලුපාට ශක්තිමත් තරුණ ගවයන් හතර
දෙනෙක් සටනට සැරසෙමින් හතර දිසාවෙන් ඇවිත් සටනට සූදානම් වෙන විට මහජනයා හතර දෙසින්
රැස් වී සිටියා. නමුත් ඔවුන් ගර්ජනා කර සටනට සූදානම් වී සටන් නොකර ඒ මේ අත පලා
ගියා.”
“ස්වාමීනි, මෙය මට හෝ රාජ්‍යයට හෝ සම්පත්වලට විපතක් ද?”
“රජතුමනි, මෙයට විපාක ඔබටත්, අපටත් මේ කාලයේ වෙන්නේ නෑ. අනාගතයේ අධර්මිෂ්ට රජවරුන්
හා නපුරු මිනිසුන් ඇති වූ කල්හි ලෝකේ යහපත අයහපතට පෙරළෙනවා. ධර්මය අධර්මයට මාරු
වෙනවා. යුක්තිය - අයුක්තිය වෙනවා. මේ නිසා ලෝකේ පිරිහෙනවා. එතකොට වර්ෂාව නියම කාලයට
වසින්නේ නෑ. මහ වලාකුළු අහස පුරා පැතිර ගර්ජනා කර වසින්න සූදානම් වී විසිරී යනවා.
මේඝ වලාකුළු දැක ගොවියෝ ඇළවේලි සුද්ධ කරනවා.
කෙත්වත් පිරිසිදු කරනවා. ඒත් වර්ෂාවක්
නෑ. අර තරුණ කළු ගවයන් හතරදෙනා තප්පුලමින් හතර දිසාවෙන් ඇවිත් සටනට සූදානම් වුණත්.
මිනිසුන් බලා සිටියදී ම සටනට සැරසී කිසිම සටනක් නැතිව විසිරී යනවා, වාගේ ගර්ජනා
කරමින් වැසි වළාකුළු අහසේ සතර වටින් එක් වුණත් වහින්නේ නැතිව විසිරී යනවා.
මිනිසුන්ට ගොවිතැන් කරන්න බැරි වෙනවා. ආහාර හිඟ වෙනකොට දුකට පත් වෙනවා. මිනිස්සු
ලෙඩ රෝගවලින් පෙළෙනවා. මේක අනාගතයේ අධර්මිෂ්ට පාලකයන්ගේ කාලවල දී වෙන දෙයක්. එනිසා
රජතුමනි, ඔබටවත්, ඔබගේ ජනතාවටවත් ඒ සීනයෙන් විපතක් නැත.”
“ස්වාමීනි, මම තවත් පුදුම සීනයක් දැක්කා. පොළොව පළාගෙන කුඩා ගස් වියතක් පමණ උඩට
ඇවිත් මල් ගෙඩි හැදුනා.”
“රජතුමනි, මේකත් අනාගතයේ වෙන දෙයක්. රජතුමනි, අනාගතයේ මිනිස්සු අධික විනෝදකාමී
ජීවිතවලට හුරුවෙලා රාගයෙන් මත්වෙනවා. රාගය වැඩි කරන දේවල් අහන්න දකින්න ලැබෙනවා.
වයසට නොගිය දරුවන් තුළ පවා කාමය ඇවිස්සෙනවා. එනිසා කුඩා කාලයේ දී ම දරුවන් තුළ
වැරදි හැසිරීම් පුරුදු වෙනවා. මේ නිසා ඔවුන්ගේ ආයුෂය ද අඩු වෙනවා. අඩු වයසින් ම
විවාහ වෙනවා. දරුවන් ලබනවා. කෙටි කාලයක දී මැරිල යනවා. අර වියතක් පමණ උස ගස්වල මල්
ගෙඩි හටගන්නවා වගේ දැරියන් ගැබ් ගන්නවා. දරුවන් ලබා අඹුදරුවන් වෙනවා. ඒක මිනිසුන්ගේ
රාගය ඇවිස්සෙන කොට වෙන්න පුළුවන් දෙයක්. මෝඩ පාලකයන් බලකාමයෙන් හෝ ධන තෘෂ්ණාවෙන්
මුදල් සොයන්න මිනිසුන්ගේ රාගය ඇවිස්සෙන වැඩ කරල මිනිසුන් රාගයෙන් මත් වී දුරාචාරය
වැඩි වෙන කොට ආයුෂය ද අඩුවෙනවා.”
“ස්වාමීනි, මම දැක්ක තුන්වන සීනය නම් “කුඩා වස්සන්ගෙන් දෙනුන් කිරි බොනවා.”
“රජතුමනි, මේක අනාගතයේ මිනිසුන් අතර ජ්‍යෙෂ්ඨාපචායනය නැතිවීමෙන් වෙන දෙයක්. අනාගතයේ
රාගයෙන් මත්වෙන තරුණ තරුණියෝ මවුපියන්, නැන්දා - මාමා ගැන සිතන්නේ නෑ. ඒ අය කියන දේ
අහන්නේ නෑ. කිසිම ලැජ්ජාවක් බයක් නෑ. තමාට කැමැති කැමති තරුණ තරුණියන් තමා විසින් ම
තෝරා ගන්නවා. මවුපියන්ගෙන් වෙන්ව තනිව ජීවත්වෙන, වැඩිහිටියන් මවුපියන් ගැන සලකන්නේ
නෑ. අනුන්ට කිසිවක් නොදෙන ආත්මාර්ථකාමී අය වෙනවා. වයසට යන මවුපියන් වැඩිහිටියන්
අසරණ වෙනවා. ඒ වැඩිහිටියෝ අසරණව තම දූ දරුවන් ළඟ දණින් වැටී තමාට උපකාර කරන ලෙස
ඉල්ලා සිටිනවා.
මේක කුඩා වස්සන්ගෙන් එළදෙන කිරි බොනවා වගේ වැඩක්. මවුපියන්ට වැඩිහිටියන්ට නොසලකන
දරුවන් වැඩි සමාජයක වැඩිහිටියන් අසරණ වීම අනාගතයේ දී සිදුවෙන්න පුළුවන්.”
“බුදුරජාණන් වහන්ස, මම හීනෙන් දැක්ක “ආරෝහ පරිණාහ සම්පන්න මහ ගවයා ගැලේ අගටත්, තරුණ
ගවයන් ගැලේ මුලටත් යොදා රථය ඇදගැනීමට නොහැකිව අතරමං වී වෙළඳාම අසාර්ථක කර ගත්
වෙළෙන්දෙක්.”
රජතුමනි, ඒ මෝඩ වෙළෙන්දා වගේ අනාගතයේ නපුරු අධර්මිෂ්ට රජවරු” දක්‍ෂ උගත් පඬිවරුන්ට
ධර්මාධිකරණයේ උසස් තැන් නොදී පරිණත බුද්ධියක් නැති තරුණ අයට රාජ්‍ය සභාවේ උසස්
තනතුරු දෙනවා. වයෝවෘද්ධ අමාත්‍යවරුන් ඉවත් කරනවා. අර තරුණ අය තරුණකමත්, බලයත්,
ධනයත් නිසා මදයෙන් මත් වී ක්‍රියා කරනවා. ඒ අයට තමාගේ තනතුරේ උසස් බව ආරක්‍ෂා
කරගන්න බැරි වෙනවා. නිවැරදි බුද්ධිමත් තීරණ දෙන්න බැරි වෙනවා.
මේවා දකින උගත්
වයෝවෘද්ධ අමාත්‍යවරු රාජ්‍ය කටයුතුවලින් ඉවත් වෙනවා. මේ නිසා පාලන කටයුතු අවුල්
වෙනවා. තරුණ අමාත්‍යවරුන්ට තම වගකීම් ඉටු කරන්න බැරිවෙලා රාජ්‍යයම අවුල් වෙනවා. අර
තරුණ ගවයන් මුලින් යෙදුවත් මඟ නොමඟ නොදැන බරක් ඉසිලිය නොහැකිව රථය ඇද ගැනීමට බැරිව
දුකට පත් වෙනවා. වෙළඳාමත් විනාශ වෙනවා. මෝඩ පාලකයන් සුදුස්සාට සුදුසු තැන නොදී කරන
පාලන ක්‍රම නිසා රාජ්‍යයක් ම විනාශ වෙන්න පුළුවන්.
බුදුරජාණන් වහන්ස, දෙපැත්තට ම කටවල් ඇති දෙපසින් ම ආහාර ගන්නා අශ්වයකු හීනෙන්
දුටුවා.
රජතුමනි, අනාගතයේ අධර්මිෂ්ඨ රජවරුන්ගේ මෝඩ පාලන කාලවලදී නපුරු මිනිසුන්
විනිශ්චයාසනවලට පත්වෙනවා. අධර්මිෂ්ඨ ගති පැවතුම් ඇති ඒ නපුරු විනිසකරුවෝ යුක්තිය
අයුක්තිය, ධර්මය - අධර්මය ගැන නොදැන විනිශ්චය දෙනවා. ධන ආශාවෙන් ක්‍රියා කරන ඒ අය
යුක්තිය පැත්තෙනුත්, අයුක්තිය පැත්තෙනුත් අල්ලස් ගෙන අසාධාරණ තීරණ දෙනවා. අර අශ්වයා
කටවල් දෙකකින් දෙපසින් ම කන්නා සේ අල්ලසට යට වූ විනිසකරුවන් නිසා ජනතාව වෙහෙසට පත්
වෙනවා. කිසිම අවස්ථාවක සාධාරණ යුක්ති ගරුක තීරණයක් අපේක්‍ෂා කරන්න බැරි තත්ත්වයකට
නීතිය පත්වෙනවා.
“ස්වාමීනි, මිනිස්සු ලක්‍ෂයක් වටිනා රන්තලියක් ගෙන එහි මුත්‍ර කරවයි, වයසක සිවලකුට
දුන්නා. ඒ මහළු සිවලා රන්තලියට මුත්‍ර කළා.”
“රජතුමනි, අධර්මිෂ්ඨ පහත් කුලහීන රජවරුන් ඇති වුනාම ඒ රජවරුන් උසස් කුලවන්තයන්ට බය
වෙනවා. ඒ කුලවත් පරම්පරාවල අයගෙන් තමාට විපතක් වේදෝ හෝයි සිතා කුලවතුන්ට තනතුරු හෝ
සම්පත් දෙන්නේ නෑ. ඒ නිසා කුලවතුන් යසසින් පිරිහෙනවා. දුප්පත් වන කුලවතුන්
ජීවත්වන්නට ක්‍රමයක් නැතිව කුලහීන ධනවතුන්ට තමන්ගේ දියණිවරුන් පාවා දෙනවා. ඒක මහලු
කැනහිලකු රන්තලියට මුත්‍ර කරන්නා සේ අපිරිසිදු දෙයක්. කුල පරම්පරා හා සිරිත් විනාශ
වීමක්, ඒ නිසා රාජ්‍ය ගෞරවයත් කුල සිරිත් විරිත් ආදියත් විනාශ වෙනවා.
“බුදුරජාණන් වහන්ස, මම සතෙක් දැක්කා, එක් මිනිහෙක් ලණුවක් අඹරා පාමුල දමනවා. ඒ
මිනිසා වාඩිවී සිටි පුටුව යට සිටින සිවල් ධේනුවක් එය කා දමනවා.”
“රජතුමනි, අනාගතයේ දී ස්ත්‍රීහු පුරුෂයන් කෙරේ ලෝභයෙන් සැරසිලි හා අලංකාරවලට
පි‍්‍රය කරනවා. වීදිවල ඇවිද ප්‍රදර්ශනයට කැමැති වෙනවා. තමාගේ ලස්සන අනුන්ට පෙන්වන්න
උත්සාහ ගන්නවා. පර පුරුෂයන් සොයා යනවා. මේ සඳහා වියදම් කරන්නෙ තම ස්වාමියා සොයන
දේවල්මයි. සොර සැමියන් සතුටු කරන්න ගෙදර දොර තිබෙන වස්තුªව ගන්නවා. ගෙදර දියුණුව
අරපිරිමැස්ම ගැන සිතන්නේ නෑ. මේ නිසා පවුල විනාශ වෙනවා. අර පුරුෂයා අඹරණ ලණුව සිවල්
ධේනුව කා දමන්නා වගේ පුරුෂයා සොයන වස්තුව සොර සැමියා සමඟ විනෝදවීමට දුරාචාර අඹුව
ක්‍රියාකරනවා. මේකත් අනාගතයේ විය හැකි දෙයක්.”
ඉතිරි කොටස ලබන සතියේ